අධ්‍යක්‍ෂතුමියගේ පණිවුඩය

බස්නාහිර පළාත තුල සාම්ප්‍රදායික කර්මාන්ත රැකගනිමින්, ප්‍රවර්ධනය කරමින් කර්මාන්ත දිරි ගැන්වීම සිය අරමුණ කරගත් බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව වසර 16 ක් පුරා සිය අරමුණ කරා වේගවත් ගමනක යෙදී සිටී. නිෂ්පාදන හා පුහුණු මධ්‍යස්ථාන 99 ක් හා අලෙවි කිරීමේ මධ්‍යස්ථාන 14 කින් සමන්විත බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව 436 කින් යුත් ස්ථිර කාර්ය මණඩලයකින් හා 600 කට ආසන්න කාර්මික කාර්මිකාවන්ගෙන් සුසැදි සම්පත් ආකරයකි.

පේෂ, දැව, ලුහු ඉංජිනේරු, මැටි, කොහු, මැණික් කැපීම, මැහුම් ආදී සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයන් මෙන්ම විද්‍යුත් තාක්‍ෂණ, පරිගණක, විදුලි කාර්මික ආදී නවීන කාර්මික ක්ෂේත්‍රයන්ද එකසේ ගලපාගනිමින් සිදු කරන පුහුණු කිරීම් හා නිෂ්පාදන ක්ෂේත්‍රයන් ගණනාවක් අප සතු වේ.

පළාතේ ශිල්පීන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්වීමත්, නිෂ්පාදන ක්‍රියාවලියේදී සේවා පහසුකම් සැපයීමත්, නිෂ්පාදන අලෙවි කිරීමේ පහසුකම් සැලසීමත්, වාර්ෂික තරඟ හා ප්‍රදර්ශන පැවැත්වීමත් ශිල්පීන් දිරිගැන්වීමේ වැඩසටහන් පැවැත්වීමත් අපගේ ප්‍රමුඛ කාර්ය භාරයක් වේ. අපගේ මධ්‍යස්ථානයන්හි සේවය කරමින් දෛනික ආදායම් උපයන සාම්ප්‍රදායික කර්මාන්තය ශිල්පීන් සංඛ්‍යාව 600 කට අධික වේ. එසේම වාර්ෂිකව රුපියල් මිලියන 100 කට අධික ආදායමක් බස්නාහිර පළාත් සභාවට ලබා දීම‍ට අප දෙපාර්තමේන්තුව සමත් වී ඇත. අපගේ ශිල්පීන් විසින් සිදුකරන පාසැල් ඩෙස්ක් පුටු අළුත්වැඩියාව, රෝහල් උපකරණ අළුත්වැඩියාව හා පාසැල් හා දහම් පාසැල් භාණ්ඩ නිපදවීම මඟින් බස්නාහිර පළාත් සභාවට විශාල මූල්‍ය ඉතිරියක් සිදුකර දීමට අපට හැකි වී ඇති බවද ප්‍රකාශ කරනුයේ හදපිරි සතුටිනි.

වේගවත් නාගරීකරණයට ලක්වී ඇති අතිශය සංකීර්ණ සමාජ පරිසරයක් පවත්නා බස්නාහිර පළාතෙන් ගිලිහී යන සාම්ප්‍රදායික කර්මාන්ත ජනතාව වෙත සමීප කරගනිමින් රැක ගැනීමත්, ආර්ථික ප්‍රවර්ධනයෙහි ලා අත්‍යාවශය වන නවීන කර්මාන්ත හදුන්වාදෙමින් ප්‍රවර්ධනය කිරීමත් යන අභියෝගාත්මක ඉලක්කය කරා ගමන් කරන බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඔබගේ අනාගත සාර්ථකත්වය ගොඩනගා ගන්නා ලෙස ඔබට ආරාධනා කරමි.